(චමිලා අල්විස්)

හොරණ ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම බැංකුවේ සහකාර කළමනාකරු සමග ගනු දෙනු කළ නල්ලුරුව - මෝදරවිල ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර සහකාර කළමනාකරු මීට පෙර නල්ලුරුව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය කර ඇති අතර එහිදී හඳුනාගත් පොලියට මුදල් ලබාදෙන කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාගෙන ඇති බවයි.

එම මුදල සඳහා පොලිය සමඟ රුපියල් ලක්ෂ 72ක් ගෙවා ඇති බවත්, පසුව වරින් වර ලක්ෂ 10 බැගින් තවත් මුදල් ලබාගෙන ඇති බවත් විමර්ශන නිලධාරීහු සඳහන් කළහ.

බැංකුවේ මුදල් අතුරුදන් වීමේ සිද්ධියට පෙර දින, පොලියට ලබාගත් රුපියල් ලක්ෂ 37ක මුදල ආපසු ලබාදෙන ලෙස අදාළ කාන්තාව කෙටි පණිවිඩයක් මගින් සැකකරුගෙන් ඉල්ලා තිබූ බවද හෙළි වී ඇත.

තවද නල්ලුරුව ප්‍රදේශයේ තවත් කාන්තාවකගෙන් සහ ඉතාලියේ සිට මෙරටට පැමිණි කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 25 බැගින් මුදල් ලබාගෙන ඇති බවත්, තවත් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 37ක මුදලක් ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම ණය මුදල් ආපසු ලබාදෙන ලෙස විවිධ පාර්ශ්වයන් විසින් දිගින් දිගටම බලපෑම් කර ඇති බවද පොලිසිය පවසයි.

මේ අතර, අදාළ මුදල් අතුරුදන් වූ දිනට පසු දින සැකකාර සහකාර කළමනාකරු වෙනත් බැංකු ශාඛාවකට ස්ථාන මාරුවක් ලබා යාමට නියමිතව සිට ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත.

පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විශ්වනාත් මහතාගේ උපදෙස් මත නිලධාරීන් විසින් අදාළ කාන්තාවන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතී.